“අයියෝ, ඔයා මා ගැන දන්නවා නේ මඩ්. මම අනිවාර්යෙන් කියාවි, ‘ඒ මුදල් වියදම් කිරීමට පෙර නැන්දා කුමක් කියයි දැයි බලා ඉමු’. සමහර විට විකාර හැගීමක් මට දැනෙනවා නමුත් හෙට නැන්දා කුමක් කියයිද කියා මම තරමක් බියෙන් ඉන්නේ.”
“නැහැ, ඔයා හරි, ඇයි දැන් එයාලට කරදර කරන්නේ, නමුත් මම හිතනවා නැන්දා හෙට හවස් වරුවේ මට එන්න කියයි කියලා. ඒ නිසා දරුවන්ට කියන්න හෙට තේ බොන වෙලාවේදී තියන පවුලේ රැස්වීමට එයාලා ඉන්න ඕනේ කියලා.”
“මම හිතන්නේ, මට ආයෙත් මහන්සි නිසා නින්දට ගියොත් හොදයි කියලා. නැන්දාගේ කෙල ගැසීමෙන් මට ටිකක් ප්‍රාණවත් උනත් දැන් එහෙම නැහැ. දරුවන්ට කියන්න මම හොඳින් කියලා, නමුත් හෙට මං වෙනුවෙන් එළුවන්ව ගෙනියන්න කියලා ඩෙන්ට කියන්න, එහෙම හොදයි නේද? එයාට එළුවන්ව ගොඩක් දුර ගෙනියන්න ඕනේ නැහැ, ගඟ ගාවට ගෙනිච්චොත් උන් පන් ගස් ටිකක් කාලා වතුර බොයි…දවස් දෙක තුනකට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
“ඔයාට විනාඩි දහයක් මට දෙන්න පුලුවන්නම්, කරුණාකර මට ඔයාගේ විශේෂ තේ ටිකක් හදලා දෙන්න පුළුවන්ද? අර ඉඟුරු, අසමෝදගම් සහ අනිත් ඒවා දාන එක… ඒකෙන් මාව ටිකක් ප්‍රාණවත් වෙයි … ආ, කොමඩු සහ සූරියකාන්ත බීජ ටිකකුත් ගෙන්න… ඒවා තලලා දෙන්න කියලා ඩින්ට කියන්න.”
“කොහොමද සුප් ජෝගුවකුත්? ඒක ඔයා ආසම… ”
“ඔව්, හරි, ඒත් මම නිදාගෙන ඉන්නවා නම්, ඒක මේසය උඩින් තියන්න. පස්සේ සීතල උනාම බොන්නම්.”
“හලෝ, ළමයි, මම අද වේලපහින් නින්දට යනවා, නමුත් මං ගැන කරදර වෙන්න එපා, මම හොඳින්. අම්මා ඔක්කොම විස්තර කියයි. මට හිතෙන විදිහට, මට මොකක් හරි ආසාදනයක් තමයි තියෙන්නේ. සුභ රාත්‍රියක් හැමෝටම.”
“සුබ රාත්‍රියක්, පෝ” ඔවුන් සියල්ලෝම පිළිතුරු දුන්හ. ඔවුන් සියල්ලෝ ඇඳට යන ලී මහතා දෙස බලා සිටි අතර ඩින්ගේ මුහුණේ විශේෂ සැලකිලිමත් බවක් දිස්විය.
ලී මහතා නිහඬ අන්ධකාරයේ ඇඳ මත වැතිර සිටින විට, දිරාපත් වූ දතක් සෑම රාත්‍රියකම වේදනා දෙන්නාසේ ඔහුට දැනුනේ ඔහුගේ ශරීරයේ දෙපැත්ත තව තවත් තදින් ගැහෙන බවය. නමුත් ඔහු ඉතා වෙහෙසට පත්වී සිටි නිසා ඔහුගේ තේ, සුප් සහ බීජ ඔහු වෙත ගෙන එනවිට ඔහුට නින්ද ගොස් තිබිණි.
පිටත ඇති, විශාල මේසය අසල අඩ අඳුරේ එම කුඩා පවුලේ සාමාජිකයින්, ඔවුන් ශබ්ධයෙන් කතා කළද කිසිවෙකුට ඒවා නොඇසිය හැකි වුවත් ඉතා සිහින් හඬින් ලී මහතාගේ අපහසුව ගැන සාකච්ඡා කළහ.
“අම්මේ, පෝ මැරෙන්නද යන්නේ?” ඩින් කඳුළු සලමින් ඇසුවාය.
“නෑ, ආදරණීය දුව, ඇත්තෙන්ම නැහැ, කොහොමටවත්… මම හිතන්නේ නැහැ.”
2 ලී පවුලේ දෙගිඩියාව
ගම්බද සාමාන්‍ය රටාවට අනුව, සෑම කෙනෙකුම නිදාගත්තේ නිවසේ තිබෙන එකම කාමරයේය: දෙමවුපියන් සඳහා ද්විත්ව මෙට්ටයක්, ළමයින්ට එක බැගින්ද එලෙසම ඔවුන්ගේ ඇඳන් තුනම මදුරු දැල් වලින්ද ආවරණය කර තිබුණි. එබැවින් ඔවුන් පසුදා උදෑසන, හෙන්ග් අවදි වීම වැලැක්වීමට ඉතා නිශ්ශබ්ධව නැගිට්ටෝය.
කිසියම් දෙයක් වැරදී ඇති බව දරුවෝ සිතුවෝය, මන්ද ලී මහතා සාමාන්‍යයෙන් සීතල උදෑසනක පවා පළමුවෙන් නැගිට පිටතට යන පළමු තැනැත්තා වූ බැවිනි. ඔහුගේ මරුනාසේ සුදුමැලි වූ මුහුණ දෙස මදුරු දැල තුලින් කනස්සල්ලෙන් බලා සිටි ඔවුන්ව, මව විසින් එලියට කැඳවාගෙන යන ලදී.
“ඩින්, අපට උදව්වක් කරන්න. මම ඔයාගේ තාත්තාගේ පෙනුමට කැමති නැහැ, ඉක්මණින් නාලා නැන්දාට අපට කියන්න තියෙන්නේ මොකක්ද බලන්න, එහෙම නේද? ඔයා හොඳ කෙල්ලෙක්. අපි උදේ වැඩියි තමයි, එත් එයා ලැස්ති නැත්නම් ඇගේ ප්‍රියතම බෑණා වෙනුවෙන් ප්‍රමාද වෙන්න ඉස්සර එයාට විශේෂ උත්සාහයක් ගන්න පුලුවන්ද අහන්න.”
ඩින් හඬමින් ස්නානය සඳහා දිව්වාය. “කණගාටුයි, මගේ ආදරණීය දුව, මම ඔයාව කලබලයට පත්කරන්න හිතුවේ නැහැ!” ඇය තම දියණියට කෑගැසුවාය.
මිනිත්තු පහළොවකට පසු ඇය ඇගේ ලොකු නැන්දාගේ නිවසට පැමිණෙන විට, පුරාණ කට්ටඩියා නැගිට ඇඳ පැළඳ, නිවස ඉදිරිපිට විශාල මේසය මත හිඳගෙන බත් සහ සුප් අනුභව කරමින් සිටියාය.
“ඔබට සුබ උදෑසනක්, ඩින්, ඔයාව දැකීම සතුටක්, ඔයාට සුප් බඳුනක් ඕනෙද? ඒක රසයි.” ඩා ඇගේ මිණිබිරියන් වෙත විශේෂයෙන් ඩින් වෙත දැඩි සෙනෙහසක් දැක්වුවද, ඇය කියූ දේ ඇසූ විට, පැය විසිහතරක් ඇතුළත මේ ආකාරයේ නිසි රෝග විනිශ්චයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව බොහෝ දේ ඉල්ලා සිටින බව පැවසීය.
“අනේ ඔයාගේ අම්මා! හරි, අපිට කරන්න පුළුවන් දේ අපි බලමු… ඔයාගේ තාත්තාගේ තත්වය නරකයි වගේ නේද?”
ඔව්, ඩා නැන්දා, එයා මළමිනියක් වගේ සුදුයි, නමුත් අපි හිතන්නේ නැහැ එයා තවම මැරිලා කියලා… මම පිටත් වෙලා එනකොට අම්මා එයාගේ ප්‍රතිචාරය බලන්න කටුවකින් ඇන්නා. පෝ මැරෙනවට මම කැමති නැහැ, ඩා නැන්දා ඩා, කරුණාකර එයාව බේරගන්න.”
“දරුවා, මට පුළුවන් හැම දෙයක්ම මම කරන්නම්, නමුත් බුදුන් වහන්සේ එන්න කියූ විට ‘බැහැ’ කියන්න කාටවත් බැහැ, ඒත් අපිට කරන්න පුළුවන් දේ බලමු. එන්න මාත් එක්ක.”
ඩා ඇගේ සිද්ධස්ථානයට ඇතුළු වී ඉටිපන්දමක් දල්වා ඔවුන්ට පිටුපසින් දොර වැසුවාය. ඇය බලාපොරොත්තු වූයේ ඩින් හට ඉගැන්විය හැකි තරුණ වියේ සිටියදී ‘පැරණි ක්‍රම’ ගැන ඇය උනන්දුවක් දක්වනු ඇතැයි කියාය. මන්ද ලී පවුල තුළ මෙම රැකියාව රඳා පැවතීමට නම් ඇයට යම් දිනෙක අනුප්‍රාප්තිකයෙකු එම පවුලෙන් අවශ්‍ය බව ඇය දැන සිටි බැවිනි.
ඇය ගෙබිමෙහි තිබු, තොරතුරු විමසීමට පැමිණෙන පුද්ගලයින් අසුන් ගන්නා පැදුරට ඇඟිල්ල දිගු කළ අතර ඩින් ඒ මත වාඩි වූවාය. පසුව ඇයද ඩින් ඉදිරිපිට වාඩි වීමට පෙර, තම පැල්පත වටා යාච්ඤා කර ඇවිදිමින් ඉටිපන්දම් කිහිපයක් දැල්වුවාය. ඇය ඉන්පසු, පැදුර මත වාඩිවී තම උකුල මත දෙඅත් තබාගෙන සිටි, ඩින් ඉදිරිපිට වාඩි වුවාය.
ඩා ඇගේ ලේලිය දෙස බැලූ අතර, ඇගේ සිරුර පුරා සුළු කම්පනයක් ඇතිවනු ඇයට දැනුනි. ඇය තත්පර කිහිපයක් ඇගේ දෙඅත් දෙස බලා නැවතත් හිස ඔසවා ඩින් දෙස බැලුවාය.
“ඔබ පැමිණියේ වෙනත් කෙනෙකු ගැන උපදෙස් ලබාගැනීමටද? කරුණාකර ඔබේ ප්‍රශ්නය අසන්න” ඩා කීවේ එම පැල්පතින් පිටතදී කිසිවකු අසා නොමැති ගැඹුරු, අඳුරු, ගිගුරුම් දෙන හඬකිනි.
ඇයගේ නැන්දා වෙනත් බලවේගයකට තම ශරීරයට ඇතුළු වීමට ඉඩ දීම හේතුවෙන් ඇතිවූ මෙම ආවේශය ඩින්ව තිගැස්සීමකට පත් කළාය. ඇයගේ මුහුණ තරමක් වෙනස් වූ නමුදු නළුවෙකුට හෝ වංචාකාරයෙකුට ඔහු රඟපාන චරිතයට ගැළපෙන පරිදි ඔහුගේ පෙනුම වෙනස් කළ හැකිසේ, ඇයගේ පෙනුම වෙනස් විය. නමුත් එම වෙනස් වීම කෙතරම් දරුණුද යත් එය දිස් වූයේ ඩාගේ ඇතුලාන්තය සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයෙකු විසින් පුරවනු ලැබ ඇයගේ පෙනුම පමණක් නොව කටහඩද ඊට අනුරූපව වෙනස් වූ ආකාරයකි.
ඩින් තවදුරටත් ඇගේ නැන්දා ලෙස නොපෙනුණු, කට්ටඩියා දෙස බැලීය.
“මගේ තාත්තාට ගොඩක් අසනීපයි. එය කුමක්ද සහ අපට ඒ සඳහා කළ හැක්කේ කුමක්ද යන්න මට දැන ගැනීමට අවශ්‍යය.”
“ඔව්, ඔබේ පියා, ඔබ ‘පෝ’ ලෙස හඳුන්වන තැනැත්තා.”
එම පුද්ගලයාවූ ඇගේ නැන්දා, මේ මොහොතේ පිරිමියෙකු මෙන් හඬ නඟා, පෙර දින හෙන්ග් විසින් තබා ගොස් තිබු එක් එක් දවටන මත අත් තබා දෑස් වසා ගත්තාය. දිගු විරාමයක් සමග ඇතිවූ දැඩි නිශ්ශබ්දතාවය තුලදී ඩින්ට සිතුනේ, තද පොළොවේ කුහුඹුවන් ඇවිදින හඬද ඇයට ඇසුණු බවය.
ඩින් මීට පෙර මෙවැනි අවස්ථා විශාල ගණනකට සහභාගී වී ඇතත්, මෙතරම් බරපතල අවස්ථාවකට මුහුණදී නොමැත. ඇය වරක් තම ආමාශය පිලිබඳ ප්‍රශ්නයක්ද, මීට වසර කිහිපයකට පෙර ඇගේ මාස් ශුද්ධිය පිළිබඳවද ඉතා මෑතකදී ඇයගේ විවාහය ගැනද විමසා තිබේ. ඇය එහි ප්‍රතිපලය ගැන මිස එහි පසුබිම ගැන බිය වූයේ නැත. නමුත් ඉතා වශී කරන මෙම දර්ශනය දෙස ඇයට වාඩි වී බලා සිටීමට හා නිරීක්ෂණය කිරීම පමණක් කළ හැකි බව ඇය දැන සිටියාය.
කට්ටඩියා සෙමෙන් ගල අඩංගු පළමු පාර්සලය ලිහා, එය හොඳින් පරීක්ෂා කර, එහි සුවඳ බලා නැවත එය කෙසෙල් කොළයට දමා, පසුව පාසි අඩංගු කොළයද රැගෙන එහි සුවඳද බලා, ඇය ඉදිරිපිට පැදුර මත තැබුවාය.
කට්ටඩියා ඩින් දෙස ගාම්භීරව බලා සිට ස්වල්ප වෙලාවකට පසු කතා කළේය.
“ඔබ සැලකිලිමත් වන පුද්ගලයා සිටින්නේ ඉතා අසනීපයෙන්. ඇත්ත වශයෙන්ම ඔහු මෙම සාම්පල මට දෙන විට ඔහු මරණයට ඉතා ආසන්නව සිටියේ, නමුත් ඔහු තවම මැරිලා නැහැ… ඔහුගේ අභ්‍යන්තර අවයව සමහරක්, විශේෂයෙන් රුධිරය පිරිසිදු කිරීමට සම්බන්ධ ඒවා ඉතා දුර්වල මට්ටමක පවතිනවා… මම හිතන්නේ, තායි භාෂාවෙන් කිඩිලීස් යනුවෙන් හදුන්වන, වකුගඩු වල වැඩ කිරීම සම්පූර්ණයෙන්ම නතර වෙලා, ඒවගේම අක්මාවත් වේගයෙන් නරක් වෙනවා.”
“මෙයින් අදහස් කරන්නේ මරණය අනිවාර්ය බවයි. දැනට සොයාගත් වෛද්‍ය ප්‍රතිකාරයක් මේකට
නැහැ.”
කට්ටඩියා යළිත්, පරණ තදවූ ඇඳුමක් අඳින්නාසේ වෙව්ලමින්, ඇස් පිල්ලම් වේගයෙන් ගසා, වයසක ඩා නැන්දා බවට යලිත් පත්විය.
“ඒක හොඳ ආරංචියක් නොවේ, නේද දරුවෝ? මම ආවේශ වෙලා ඉන්න වෙලාවට හැමදේම මට ඇහෙන්නේ නැහැ, නමුත් මම එයින් ටිකක් අල්ලා ගත්තා, ඒත් ඒ දේ ඔයාගේ තාත්තට නරක බව ඔයාගේ මුහුණෙන් මට පෙනෙනවා.”
“ඒ ආත්මය කියුවා වැඩ නොකරන වකුගඩු හා අක්මාව සඳහා වෛද්‍ය ප්‍රතිකාරයක් නැති නිසා, පෝ ඉක්මනින් මැරෙයි කියලා…”
“මට කණගාටුයි, ඩින්, ඔයා දන්නවා මම ඔයාගේ තාත්තාට ගොඩාක් ඇලුම් කරන බව… බලන්න, මම ඔයාට කියන්නම්, මම ආවේශ වෙනවාට අමතරව අවුරුදු ගානක් තිස්සේ ප්‍රගුණ කරපු උපක්‍රම කිහිපයක් තියනවා. දැන් අපි බලමු… ඔව්, ගල… ඔයාගේ පියා ඒ මතට කෙළ ගැසූ ස්ථානය බලන්න. කිසිම ලකුණක් නැහැ! ඒ කියන්නේ ඔහුගේ කෙලවල ලවණ නැහැ, ලවණ නැහැ, ඛනිජ නැහැ, විටමින් නැහැ, මුකුත් නැහැ, වතුර විතරයි.”
“දැන්, පාසි,” ඇය පාසි මිටිය දුරින් තබා සිඹ ක්‍රම ක්‍රමයෙන් ඇගේ නාසයට සමීප කර ගත්තාය. “ඒකමයි! මේක ඉඹලා බලන්න! ” ඇය එය ඩින්ට සිඹීම සඳහා දිගු කළ නමුත් ඩින් ඇගේ පියාගේ මුත්‍රා සුවඳ දැනීමට අකමැති විය. “එන්න, ඒක ඔයාට දෂ්ට කරන එකක් නැහැ!” ඩා කීවාය. ඇය කී ලෙස ඩින් කළාය.
“නැහැ, සුවඳක් නැහැ, පාසි සුවඳක් විතරයි”.
“හරියට හරි! පිරිමින්ගේ මුත්‍රා ඔතලා තිබ්බොත් බළලුන්ගේ මුත්‍රා වගේ ගඳයි, නමුත් ඔයාගේ තාත්තාගේ එහෙම නැහැ. එමනිසා, එහි කුණුවී ගඳ ගසන්න මස් නැහැ. ඒ කියන්නේ ඔයාගේ පියාගේ රුධිරයද වතුර වෙලා.”
“ඔයාට රුධිරය වෙනුවට වතුර එක්ක ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන්ද? තර්කය හරිනේද? රුධිරය ශරීරය වටා සියලු යහපත් දේ ගෙනියයි, නමුත් ඔයාගේ පියාට කිසිවක් නැහැ, ඒ නිසා ඔහු නිතරම දුර්වලයි!”
“ඔයා දැන් ගෙදරට යන්න, අපි පරක්කු වැඩිද කියලා බලන්න, පියා තවමත් අප සමඟ නම් ආපසු ඔයාගේ ස්කූටරයෙන් ඇවිත් මාව එක්කන් යන්න. දැන්ම ඉක්මන් කරන්න!”
ඩින් දොරෙන් ඉගිලී ආපසු ගෙදර දිව ගියාය.
ඩින් ගෙදර ගිය අතරේදී, ඩා පිටත්ව යාමට සූදානම් වූවාය. මන්ද ඇගේ හෙන්ග් තවමත් මිය ගොස් නැති බවත්, කෙසේ හෝ සම්පූර්ණයෙන් ම මිය ගොස් නැති බවත් ඇය හදවතින්ම දැන සිටියාය. ඇය ඖෂධ පැළෑටි කිහිපයක් තෝරාගෙන ඒවා මල්ලක දමා, මුහුණට වතුර ඉස, යතුරුපැදි ගමනේදී විසිරී නොයන ලෙස හිසකෙස් වැස්මකින් බැඳ ගත්තාය. ඉන්පසු ඇය තම ලේලිය එනතෙක් බලා සිටීමට පිටතට ගියාය.
දූහුවිලි වලාකුළක් සමගින් ඩින් මිනිත්තු කිහිපයකට පසු යලි පැමිණියාය.
“ඉක්මනින් නැන්දා, අම්මා කියනවා ඉක්මනට එන්න කියලා, මොකද එයා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ.”
කාන්තාවකට ගැළපෙන පරිදි සැකසු පැති ආසනයක් සහිත ස්කූටරයට ඩා නැගගත් විගස ඔවුහු පිටත් වූහ. ඩින්ගේ දිගු කෙස් ඩාගේ රැලි වැටුණු මුහුණේ වේදනකාරී ලෙස වැදුණුවිට ඇය ඒවා වැලැක්වීමට මෙන් වරින් වර හිස පහත් කරමින් ගියාය. ඔවුන් පැමිණි විගසම ඩා ස්කුටරයෙන් බැස, වයසක කාන්තාවක් වුවත් ඉතා කඩිසර ගමනින් ගෙට ඇතුළුවිය.
“ඉක්මනට ආපු එක ගැන ස්තූතියි, ඩා නැන්දා, එයා නිදන කාමරයේ ඉන්නවා.”
“ඔව්, මම හිතුවා එයාගේ ආදරණීය එළුවන් එක්ක නෙමෙයි අද ඇඳේ ඉඳියි කියලා!” ඇය මදුරු දැල ඔසවා ඔහුගේ හිස අසල වාඩි වූවාය. මුලින්ම ඇය ඔහුගේ සම දෙස බැලුවාය, පසුව ඔහුගේ හිසකෙස්, තොල් සහ අවසානයේදී ඇය ඔහුගේ දෑස් විවර කර ඒවා දෙස බැලුවාය.
ම්ම්ම්, මට පෙනෙන්නේ… මට එයාගේ කකුල් පෙන්වන්න!” තම ස්වාමිපුරුෂයාගේ පාද ආවරණය ඉවත් කිරීමට වැන් ඉක්මන් වූ අතර, ඩා ඒවා මිරිකමින් වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට නැඹුරු වූවාය.
“ම්ම්ම්, මම මීට පෙර මෙතරම් බරපතල ලෙස රුධිරයේ මස් නොමැතිකම දැකලා නැහැ. කුමක් කළ යුතුදැයි ඔබේ ළමයින්ට පවසන්නට මට ටික වේලාවකට අවසර දෙනවාද? හොඳයි, මම ඉක්මනින් ආපසු එන්නම්. ඔයාගේ පුරුෂයාගේ ඔළුව යටට කොට්ට කිහිපයක් තියලා උස්සලා තියන්න, ඩෙන් මට එළියේදී උදව් කරයි ඒ අතරදී ඔයාට උදවු කරන්න මම ඩින්ව එවන්නම්.”
“ඔව්, නැන්දා, ඇත්තෙන්ම. මගේ ආදරණීය හෙන්ග්ට උදව් කරන්න ඕනෑම දෙයක් කරන්නම්.”
“හරි, අපි බලමු අපිට කරන්න පුළුවන් දේ නේද?” ඒ සමඟම ඇය නැඟිට බිමට බැස්සාය.
“ඩින් ගොස් ඔබේ අම්මාට උදව් කරන්න, ඩෙන් එන්න මාත් එක්ක, අපි ඔක්කොම කඩිනමින් හා නිවැරදිව ක්‍රියා කළ යුතුයි.”
ඩින් ඉක්මණින් තම මව වෙත ගිය අතර ඩෙන් ඇසුවේ උදව් කිරීමට ඔහු කුමක් කළ යුතුද යන්නයි.
“ගිහින් ඔයා සතුව ඇති ශක්තිමත්ම කුකුළා මට ගේන්න! ඉක්මනට, කොල්ලෝ! ”
ඔහු තම කුකුළා අත යට රඳවාගෙන පැමිණි අතර ඩා එය ඔහුගෙන් ගත්තේය. “දැන් ඔයාගේ ශක්තිමත්ම එළුවා කණුවකට තදින් බැඳලා දමන්න, හැබැයි එයාට අඟලක්වත් හෙළවෙන්න බැරිවෙන විදිහට- හිටගෙන හිටියත් වාඩිවෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ.”
ඩෙන් වේගයෙන් එළුවා ගෙන ඒමට දිව යද්දී, ඩා මේසය අද්දර නැඹුරුවී, කුකුළාගේ බෙල්ල කපා, එහි රුධිරය බඳුනකට දමා, පණ නැති සිරුර මේසය මත ඇති එළවළු කූඩයට විසි කර උඩ තට්ටුවට වේගයෙන් දිව ගියාය.
ඇය උඩට පැමිණි විගස, “ඩින්” යනුවෙන් අමතා “ශීතකරණයේ එළුවෙකුගේ කිරි හරි වෙන මොනවා හරි කිරි තියනවද? මුකුත් නැත්නම්, බඳුනක් අරගෙන නැවුම් කිරි ටිකක් ගන්න, කරුණාකරලා, කෙල්ලේ.”
ඇයට ඉක්මන් කරන්න කීමට අවශ්‍ය නොවුනේ ඇය එවිටත් වැඩය සඳහා පිටත්ව ගොස් තිබූ බැවිනි.
“හරි, වැන්, එයා අවදියෙන්ද?”
“ඇත්තටම නැහැ, නැන්දා, භාගෙට භාගයක් වගේ.”
“හරි, ඔයා එයාගේ නහය වහලා අල්ලගන්න, මම මේ ලේ ඔහුගේ උගුරෙන් වත් කරන්නම්.” ඇය ඔහුගේ වැසී තිබූ හක්ක ඇගේ මාපටැඟිල්ල සහ මැද ඇඟිල්ලෙන් මිරිකමින් මුඛය විවෘත කර ඔහුගේ හිස පිටුපසට තල්ලු කරමින් කුකුළු ලේ උගුරු කිහිපයක් ඔහුගේ උගුරට වත් කළාය. ඩීසල් මගින් පෙට්‍රල් මෝටර් රථයක් පන ගන්වන විට මෙන් ශබ්දයක් හෙන්ග් ගේ උගුරින් පිටවන විට ඩා තේරුම් ගත්තේ ලේ වලින් භාගයක්වත් හරි මාර්ගයේ ගිය බවයි.
හෙන්ග් තම දෑස් තරමක් විවර කළේය.
“මේ මායාකාරියන් දෙදෙනා මට මොකක්ද කරන්නේ?” ඔහු ඉතා සිමින් ඇසුවේය, “ඒක හරිම අප්පිරියයි!”
“ආහ්, මට එහෙම හිතුනා තමයි”, කියමින් ඩා තවත් ලේ කටට වත්කලේය. “ඒක ඉතා සාරවත්, ඔයා ඒ සඳහා හුරු වෙන්න ඕනේ.”
ඩින් පැමිණ පැවසුවේ “නැවුම් කිරි, අපේ හොඳම එළුවා වන ෆ්ලවර් ගෙන්, තවමත් උණුසුම්” කියාය.
ඩා එය රැගෙන, ඉතිරි රුධිරය සමඟ භාගෙට භාගයක් වනසේ මිශ්‍ර කර පෙර මෙන් හෙන්ග්ගේ උගුරට වත් කළේය. නමුත් මෙවර හෙන්ගෙන් දැඩි අකමැත්තක් ප්‍රකාශ විය.